
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබෙන නඩුව යළි ජුලි මස 09 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.
ඒ, මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා එහිදී අධිකරණයට දන්වා සිටියේ, මෙම නඩුවේ විත්තිකරු විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් ඊයේ (03) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එය ජුනි මස 16 වෙනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළ බවයි.
එදින තෙක් මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීම නොකරන බවට පැමිණිල්ල විසින් අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බවත් ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි කැඳවීමකින් තොරව නඩුව කල්තබන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව අභියාචනාධිකරණයේ තීරණය ලැබෙන තෙක් මෙම නඩුව ජූලි මස 09 වනදා දක්වා කල්තැබීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියම කළා.
රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයතා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට විරුද්ධව මෙම නඩුව ගොනුකර තිබේ.