
දේශීය හා විදේශීය වෙළඳපොළ තුළ ඉතා ඉහළ වටිනාකමක් සහිත බෝගයක් වන කෝපි වගාව ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමේ අරමුණින් නව රක්ෂණාවරණයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වනාහී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතනයක්.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කරන්නේ, කෝපි වගා කිරීමේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාගත යුතු බැවින්, එම නිර්දේශයට යටත්ව සිදු කරනු ලබන කෝපි වගාවන් සඳහා පමණක් මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන බවයි.
මෙහිදී කෝපි පැළ සිටුවීමෙන් පසු එළඹෙන පළමු වර්ෂ 03 සඳහා, ඒ ඒ වර්ෂවලට අදාළ රක්ෂිත මුදලින් 7% ක වාරික මුදලක් යටතේ රක්ෂණාවරණය නිකුත් කිරීමට නියමිතයි.
ඒ අනුව පළමු වර්ෂය සඳහා රුපියල් 510,000/- ක් ද, දෙවන වර්ෂය සඳහා රුපියල් 660,000/- ක් ද සහ තුන්වන වර්ෂය සඳහා රුපියල් 840,000/- ක් වශයෙන් රක්ෂණාවරණ ලබාදීම සිදුවේ.
කෝපි වගා කිරීමේදී මුහුණ දීමට සිදුවන නියඟය, ගංවතුර, වන අලි හානි, පාලනය කළ නොහැකි ශාක රෝග, පාලනය කළ නොහැකි කෘමි උවදුරු සහ වෙනත් වන සත්ව හානි මෙම මූලික රක්ෂණාවරණය මඟින් ආවරණය කරනු ලබන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
මීට අමතරව, එක් එක් ආවරණයක් සඳහා රක්ෂිත මුදලින් 0.5% ක අමතර වාරිකයක් ගෙවීම මඟින් හදිසි ගිනි ගැනීම් සහ නායයෑම් වැනි අමතර ආවරණ ලබා ගැනීමට ද කෝපි වගාකරුවන්ට මෙමඟින් අවස්ථාව සලසා දී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.