
වව්නියාව ප්‍රදේශයේ සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එම සිද්ධියට සම්බන්ධ සිසුන් 07 දෙනෙකු ඉරට්ටපෙරියකුලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරිවාස භාරයට පත්කොට තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, “වව්නියාව සිඟිති පාතාලය” යනුවෙන් හඳුන්වමින් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ මෙම වීඩියෝවේ දැක්වෙන සිද්ධිය ඉරට්ටපෙරියකුලම වැව ආසන්න ප්‍රදේශයේදී සිදුව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ ඉරට්ටපෙරියකුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පහරදීමට සම්බන්ධ බවට සැක කෙරෙන සිසුන් 07 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 14 ත් 17 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරනවා. පහරකෑමට ලක් වූ වයස අවුරුදු 15 ක් වන සිසුන් දෙදෙනා මේ වන විට වව්නියාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් 07 දෙනා වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 10 දින දක්වා කැබිතිගොල්ලෑව පරිවාස භාරයට පත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.