News Center Logo
News Center Logo
සජීවී

මීගමුව බන්ධනාගාර ගැටුමේ අලුත්ම තත්ත්වය

7 days ago

4 days ago

මීගමුව බන්ධනාගාර ගැටුම - මරණ පරීක්ෂණ වාර්තා 24 ක් මුද්‍රා තබා අධිකරණයට

මීගමුව බන්ධනාගාර ගැටුම - මරණ පරීක්ෂණ වාර්තා 24 ක් මුද්‍රා තබා අධිකරණයට

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මිය 29 දෙනාගෙන්
මීගමුව මහ රෝහලේ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් මගින් සිදු කෙරුණු මියගිය බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා 24 ක් පමණක් මුද්‍රා තබා මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලිණ දම්සිත් හෙට්ටිආරච්චිගේ උපදෙස් මත සැරයන් බණ්ඩාර මහතා අධිකරණයට ඉදිරිපත් කළා. මුද්‍රා තබා අධිකරණයට භාර දුන් එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මරණකරුවන්ගේ ඥාතීන්ට භාර දෙන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය මීගමුව මූලස්ථාන පොලිසියට නියෝග කළා.

5 days ago

මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශන CIDයට පවරයි - අධිකරණයෙන් නියෝගයක්

මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශන CIDයට පවරයි - අධිකරණයෙන් නියෝගයක්

මීගමුව බන්ධනාගාරය තුළ සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට පවරා ගන්නා බවත් ඊට අවසර ලබා දෙන ලෙසත් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

ඊට අවසර ලබා දෙමින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (09) නියෝග කළා.

අපරාධ විධි විධාන සංග්‍රහයේ 125 වන වගන්තිය ප්‍රකාරව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගන්නා බව එම නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

පුද්ගලයන් 29 ඝාතනය කිරිම සහ බන්ධනාගාර දේපලවලට කෝටි 12කට ආසන්න අනර්ථයක් සිදු කිරිම යටතේ පරික්ෂණ මෙහෙයවන බවයි එම නිලධාරීන් පවසා සිටියේ.

5 days ago

තත්ත්වය පාලනයට වෙඩි තැබූ නිලධාරියාටත් රැඳවියන්ගෙන් මරණ තර්ජන

තත්ත්වය පාලනයට වෙඩි තැබූ නිලධාරියාටත් රැඳවියන්ගෙන් මරණ තර්ජන

මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුම අතරතුර දොරටුව බිඳගෙන රැඳවියන් පිටතට පැමිණීම වැළැක්වීම සඳහා වෙඩිතැබූ බන්ධනාගාර නිලධාරියාට කළහකාරීව හැසිරුණු රැඳවියන් විසින් මරණ තර්ජන සිදුකර ඇතැයි වාර්තා වෙයි.

ඒ "තෝව අහුවුණොත් මරනවා. එළියෙදී අහුවෙන්න එපා, මරනවා" යනුවෙන්ය.

ඔහු මෙදින හටගත් හදිසි අවස්ථාවේ සේවයට වාර්තාකර ඇත්තේ ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර බවද වාර්තා වෙයි.

මේ අතර ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට බන්ධනාගාර දොපර්තමේන්තුව විසින් අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව සඳහන්ය.

5 days ago

බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කර ඇත්තේ අමානුෂික ලෙස පහරදීමෙන් - මරණ පරීක්ෂණවලින් අනාවරණය වෙයි

බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කර ඇත්තේ අමානුෂික ලෙස පහරදීමෙන් - මරණ පරීක්ෂණවලින් අනාවරණය වෙයි

මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ට ඉතා අමානුෂික ලෙස පහරදී ඇති බව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව, හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් එම නිලධාරීන් මියගොස් ඇති බව හෙළි වී ඇත.

පසුගිය ජූලි 5 සහ 6 දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධියෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු පුද්ගලයන් 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.

ඒ අනුව, මරණ 14ක් වෙඩි වැදීමෙන් සිදුව ඇති බවත්, තවත් මරණ 9ක් පහරදීම් හේතුවෙන් සිදුව ඇති බවත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එක් මරණයක් සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බන්ධනාගාර නියාමකවරයාගේ මරණය සම්බන්ධයෙන් ද අද (09) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, එම මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම ද අවසන් කර ඇත.

මීගමුව රෝහලේ තැන්පත් කර තිබූ මෘතදේහ 28 අතරින් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන් කර මෘතදේහ ඔවුන්ගේ ඥාතීන්ට භාරදී ඇති අතර, ඉතිරි මෘතදේහ හතර සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ මේ වන විටත් සිදු කෙරෙමින් පවතී. එම පිරිස අතර ඉන්දීය ජාතිකයකු ද සිටින බව වාර්තා වේ.

මෙම සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වෛද්‍ය සුජීව වික්‍රමනායකගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් පත් කර තිබේ. එම කණ්ඩායමට වෛද්‍ය ප්‍රසන්න අප්පුහාමි, වෛද්‍ය සමන්ත විජේරත්න, වෛද්‍ය සමින්ද රාජපක්ෂ සහ වෛද්‍ය රමේෂ් අග්ගියාවන්න යන වෛද්‍යවරුන් ඇතුළත් වෙති.

මේ අතර, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය ඉකුත් 7 වැනිදා මියගිය බන්ධනාගාර නිලධාරීන් අට දෙනා සහ රැඳවියන් 21 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබුණි.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට ද නියෝග කර ඇත.

අනෙක් අතට, සිද්ධියෙන් අනතුරුව මීගමුව බන්ධනාගාරය අපරාධ ස්ථානයක් ලෙස සැලකෙන බැවින් එහි රැඳවියන් තවදුරටත් රඳවා තැබීම සුදුසු නොවන බවට බන්ධනාගාර පරිපාලනය තීරණය කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිවේදනයක් මඟින් සඳහන් කළේය.

ප්‍රචණ්ඩ සිද්ධියෙන් බන්ධනාගාර පරිශ්‍රයට දැඩි හානි සිදුව ඇති අතර, එම හානිය පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙතෙක් සකස් කර නොමැති බව බන්ධනාගාර බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.

6 days ago

මීගමුව නොසන්සුන්තාවය පාලනයට, පොලිසියේ සහාය ඉල්ලුවේ සඳුදා ගැටුමෙන් පසුවයි - අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කියයි

මීගමුව නොසන්සුන්තාවය පාලනයට, පොලිසියේ සහාය ඉල්ලුවේ සඳුදා ගැටුමෙන් පසුවයි - අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කියයි

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීමට පොලිසිය සූදානම්ව සිටි බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට පොලිසියේ සහාය ඉල්ලා සිටියේ සඳුදා (6 වැනිදා) උදෑසන ඇතිවූ ගැටුමෙන් පසුව බවත් අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා පවසනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පවසා සිටියේ ඊයේ (08 වැනිදා) දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා,

"මීගමුව බන්ධනාගාරය ඉදිරිපිටට පොලිසිය ගිහිල්ලා සූදානම්ව සිටියා. මොනවා හරි අවශ්‍යතාවයක් වුණොත් අපි සූදානම්ව සිටියේ. නමුත් බන්ධනාගාරයෙන් කියන්නේ නැතුව අපි ඇතුළට යන්නේ නෑ. යන්න බෑ නොවෙයි යන්නේ නෑ. බන්ධනාගාර කොමසාරිස්වරයා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරලා තිබුණා 05 වැනිදා මෙහෙම සිදුවීමක් වුණා කියලා. හැබැයි 06 වැනිදා තමයි මේ ලියුම ලියන්නේ. 06 වැනිදාත් ලියන්නේ උදේ සිද්ධියෙන් පස්සෙ. ඒකේ තියෙන්නේ පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ලබාදෙන්න කියලා. ඊට පස්සේ තමයි අපි සහාය ලබාදෙන්න ඇතුළට යන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය විදිහට වගකීම සහ යුතුකම අපි ඉටුකරලා තියෙනවා."

6 days ago

මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්

මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්

පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ හදිසි තත්ත්වයත් සමඟ එම පරිශ්‍රය තුළ රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය විසින් තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කළේ, එම බන්ධනාගාරය අපරාධ ස්ථානයක් බවට සලකන බවය.

අදාළ ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් අනතුරුව මීගමුව බන්ධනාගාර පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව තිබේ.

එමෙන්ම විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩ හැරීමටද, රැඳවියන්ගේ ආරක්ෂාව සැලැස්වීමට ද, විමර්ශන කටයුතු අවසාන වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමටද හැකි වන පරිදි මෙම පරිශ්‍රයේ රඳවා සිටි රැඳවියන් බොහෝමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍රයන් වෙත තාවකාලිකව මාරු කිරීම සිදු කර ඇත.

දැනට පවත්වාගෙන යනු ලබන බන්ධනාගාරවල සිර ඝනත්වය සහ රැඳවියන්ගේ සුබසාධනය සලකමින් පවතින බන්ධනාගාරවලට වැඩිමනත් ලෙස, තාවකාලික පදනමින් වෙනත්, සුදුසු පරිශ්‍රයන් වෙත රැඳවියන් යම් ප්‍රමාණයක් විතැන් කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ හේතුනේ මීගමුව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීම අවසන් කරන තුරු, තාවකාලික පදනමින් "මහමෝදර" සහ "පැරණි බෝගම්බර" පරිශ්‍රයන් බන්ධනාගාර ආඥා පනතේ කාර්යයන් සඳහා බන්ධනාගාරයන් ලෙස පිහිටුවීමට නියමයන් නිකුත් කර ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

6 days ago

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය ඉන්දියානු ජාතික රැඳවියා කවුද?

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය ඉන්දියානු ජාතික රැඳවියා කවුද?

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර ඉන්දීය ජාතික රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, 73 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු මීගමුව බන්ධනාගාරයේදී ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.

මියගිය මෙම පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා කාලයක් ගතවීම හේතුවෙන් ඔහුගේ මරණය පිලිබඳව තොරතුරු වාර්තා කිරීම ප්‍රමාද වූ බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

ජීවිතක්ෂයට පත්ව ඇති ඉන්දීය ජාතිකයා 2025 වර්ෂයේදී ගුවන් මාර්ගයෙන් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 908ක් මෙරටට රැගෙන ඒම සහ සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත බන්ධනාගාරගතව සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.

6 days ago

මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත

මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ (08) දිනයේදී අදාළ රැඳවියන් වාරියපොළ සහ බෝගම්බර යන බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති බවය.

අදාළ බන්ධනාගාරයේ රඳවා සිටි විදේශීය කාන්තා රැඳවියන් පිරිසක් ද ඒ අතර වන බව සඳහන්ය.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග එහි රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් ද විරෝධතාවයක නිරතව වී සිටියහ.

කෙසේ වෙතත් මේ වන විට එම විරෝධතාවය අවසන් කර ඇති අතර ක්‍රමානුකුලව එම රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යොමුකරමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සි. ගජනායක මහතා සඳහන් කළේය.

මේ අතර මීගමුව බන්ධනාරයේ පිරිමි රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යොමුකිරීමේ කටයුතු තවදුරටත් සිදුවන අතර බන්ධනාගාරවල තිබෙන පහසුකම් පිළිබඳ සොයා බලා එම මාරු කිරීමේ කටයුතු සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

තවදුරටත් රැඳවියන් 1,000ක පමණ පිරිසක් මීගමුව බන්ධනාගාරයේ රැඳවා සිටින බව වාර්තා වේ.

6 days ago

මීගමුවේ ගැටුමින් මියගිය අය අතර ඉන්දීය ජාතික රැඳවියෙකුත්

මීගමුවේ ගැටුමින් මියගිය අය අතර ඉන්දීය ජාතික රැඳවියෙකුත්

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමින් ඉන්දීය ජාතික රැඳවියෙකු ද මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 73 හැවිරිදි එස්. උන්නි ක්‍රිෂ්ණන් නමැති ඉන්දීය ජාතිකයෙකි.

ඉන්දීය ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

කෙසේ වෙතත්, අදාළ සිද්ධිය පිළිබඳ වාචික සටහනක් ඉන්දීය දූත මණ්ඩලය මඟින් විදේශ කටයුතු අමාත්‍යාංශයට යවා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවු වඩාත් බිහිසුණුම ගැටුමක් ලෙස විදෙස් මාධ්‍ය මඟින් මීගමුව බන්ධනාගාර ගැටුම පෙන්වා දී ඇති අතර, ඉන් මියගිය ගණන මේ වනවිට 28 දක්වා ඉහළ ගොස් තිබේ.

බන්ධනාගාර නිලධාරීන් 8දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු මියගිය අය අතර වේ. තවත් 100කට අධික පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, කොළඹ ජාතික රෝහලේ බරපතළ තත්ත්වයෙන් සිටින 19 දෙනෙකු ප්‍රතිකාර ලබයි.

කෙසේ වෙතත් මීගමුව බන්ධනාගාරයේ සිට මියගිය ඉන්දීය ජාතික රැඳවිය සම්බන්ධයෙන් හා සෙසු ඉන්දීය ජාතික සිරකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටිය ද ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු ලැබී නොමැති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වනවිට මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් 1,200ක පමණ පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවමින් සිටී.

7 days ago

තවත් බන්ධනාගාර නිලධාරියෙකුට දිවි අහිමි වෙයි

තවත් බන්ධනාගාර නිලධාරියෙකුට දිවි අහිමි වෙයි

මීගමුව බන්ධනාගාර ගැටුමින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

7 days ago

මීගමුවේ සිද්ධියට විපක්ෂය පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක

මීගමුවේ සිද්ධියට විපක්ෂය පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක

පාර්ලිමේන්තුව ආරම්භයේදී විපක්ෂයේ මන්ත්‍රීවරු අද (8) කළු පටි පැලඳ පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත වෙයි.

පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය 27 දෙනාගේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවට පවසමින් විපක්ෂය මෙලෙස කළු පටි පැලඳා පාවිරෝධතාවයේ නිරතවෙයි.

7 days ago

මීගමුවෙන් අඟුණුකොළපැලැස්සට ගිය රැඳවියෙකුත් අවසන් ගමන් යයි

මීගමුවෙන් අඟුණුකොළපැලැස්සට ගිය රැඳවියෙකුත් අවසන් ගමන් යයි

මීගමුව බන්ධනාගාරයේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියෙකු ද හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබුණේ, ගාල්ල කරාපිටිය රෝහල‌ වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුවය.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1,033 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති අතර මෙම ගැටුම මෙහෙය වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා ද බූස්ස බන්ධනාගාරයට මාරු කර යවා තිබුණි.

කෙසේ වෙතත් බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම හේතුවෙන් ජීවිත 27ක් අහිමි වී ඇති අතර, ඉන් 7 දෙනෙකු බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් වේ.

රැඳවියන් 17 දෙනෙකුට දිවි අහිමි වූ අතර, තුවාල ලැබූ 100කට ආසන්න පිරිසෙන් පුද්ගලයින් 20 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

7 days ago

මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙකු අසනීප තත්ත්වයකින් මරුට

මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙකු අසනීප තත්ත්වයකින් මරුට

මීගමුව බන්ධනාගාරයේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ, එම රැඳවියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති බවය.

මේ අතර, දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට අද (08) පෙරවරු 7.30වන විට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබේ.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කර සිටියේ, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම ගැන මෙන්ම සෙසු බන්ධනාගාරවල මෙවැනි තත්ත්වයක් උද්ගතවීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි.

ඒ අතර මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1,033 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති අතර මෙම ගැටුම මෙහෙය වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා ද බූස්ස බන්ධනාගාරයට මාරු කර යවා තිබුණි.

කෙසේ වෙතත් බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම හේතුවෙන් ජීවිත 27ක් අහිමි වී ඇති අතර, ඉන් 7 දෙනෙකු බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් වේ.

රැඳවියන් 17 දෙනෙකුට දිවි අහිමි වූ අතර, තුවාල ලැබූ 100කට ආසන්න පිරිසෙන් පුද්ගලයින් 20 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ මේ වන විටත් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන ඇති අතර, ගැටුමට සම්බන්ධ රැඳවියන් ඇතැම් නිලධාරීන්ගේ හිසට විශාල ගල් පවා අතහැර දමා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.

8 days ago

'මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා, ඒකේ වගකීම මට භාරගන්න වෙනවා' - අධිකරණ ඇමති

'මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා, ඒකේ වගකීම මට භාරගන්න වෙනවා' - අධිකරණ ඇමති

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට සහ කනගාටුවට පත්ව ඇතැයි අධිකරණ අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

සඳුදා (ජූලි 6) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමා යටතේ ඇති ආයතනයක මෙවැනි ගැටුමක් හටගත් බැවින් එහි වගකීම තමාට භාරගැනීමට සිදුවන බව ය.

කෙසේ වෙතත් මේ වන විට තත්ත්වය සමථයකට පත්කර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා පැවසුවේ, කාගේ හෝ ජීවිතයක් අහිමි වීම අනුමත කළ නොහැකි බවත් ඉදිරියේදී මෙවැවනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් සඳහන් කළා.

මෙම ගැටුම පතාල කල්ලි දෙකක් අතර ඇති වූ දෙයක් බව ද සඳහන් කර සිටි අධිකරණ අමාත්‍යවරයා, ගැටුම විසඳීමට නිලධාරීන් උපරිමයෙන් කටයුතු කර ඇති බව ද පැවසුවා.

"අද අපි උදේ ඉදලා මීගමුවේ ඇති වෙච්ච තත්ත්වය ගැන නිලධාරීන් මෙහෙයවමින් ඒක පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරමින් හිටියා. දැන් තත්ත්වය පාලනය කරලා තියෙන්නේ. රැඳවියෝ මිය ගිහින් තියෙනවා, කාර්ය මණ්ඩලය මියගිහිල්ලා තියෙනවා. එතැන මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා.

"මම ඉස්සෙල්ලා ම මියගිය අයගේ පවුල්වලට බලවත් ශෝකය සහ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. සිද්ධිය වෙච්ච තැනට අපි ගිහිල්ලා වෙලා තියෙන දේ හොයලා ඉදිරියේදී මෙවැනි දෙයක් නොවෙන්න වග බලාගන්න ඕනෙයි කියන තැන අපි ඉන්නේ.

"කාටවත් මේකේ වරද පටවනවා නෙමෙයි. ඇත්තට ම කම්පනයක් තියෙනවා අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ භාරයේ තියෙන ආයතනයකයි මේක වෙන්නේ. ඒ නිසා ඒකේ වගකීම මට භාරගන්න වෙනවා.

"දැන් තියෙන්නේ පසුතැවෙන එකට වඩා මේක වුණේ කොහොම ද? ප්‍රශ්නේ කොතැන ද? කවුරු හෝ වැරදියට ලෙස කටයුතු කරලා තියෙනවා ද? ගැටලුව ගැටුම ඇති වුණේ කොහොම ද? ඉදිරියේ දී මේවා ඇති නොවන්නේ කොහොම ද කියලා බලන එක. දැන් ඉතා ඉක්මනින් මේකට පිළියම් යොදන්න ඕනේ කියන තැන අපි ඉන්නවා.

"මගේ ළඟ දැන් ඔක්කොම තොරතුරු නැහැ. මෙතැන පාතාලයට සම්බන්ධ කල්ලි දෙකක් අතර ඊයේ තමයි ඉස්සර වෙලා ම ගැටුම ඇතිවෙලා තියෙන්නේ. එතන ඇතිවුණ ගැටුමෙනුත් කට්ටිය තුවාල වෙලා තියෙනවා. ඒ ගැටුම පාලනය කරන්න කාර්ය මණ්ඩලයේ අයත් තුවාල ලබලා තිබුණා. පස්සේ ඒ ගැටුම සමථයකට පත්කරලා තිබුණා.

"ඒත් අද උදේ ඔවුන්ට ආහාර ලබා දීලා, උසාවියට අරන් යන්න ලෑස්ති වෙනකොට ඒ කණ්ඩායම් දෙක අතර නැවත ගැටුම් උග්‍ර වෙලා තියෙනවා. මේක විසඳන්න අපේ කාර්ය මණ්ඩලය පුළුවන් තරම් මැදිහත් වෙනවා. මොකද මුල් අවස්ථාවේදී වෙඩි තියන්න හරි ගහන්න යන්නේ නැහැ අපේ අය. විවිධ උපක්‍රම භාවිත කරනවා.

"එතැන සෙනඟත් ගොඩක් ඉන්නවා. මේ වෙලාවට මෙවැනි දේවල් සිදුවෙනවා. මේක සාධරණීකරණය කරන්නත් බෑ. සුළු කොට තකන්නත් බෑ. මොකද මිනිස් ජීවිත නැති වෙලා තියෙනවා. මේ ගැන තව හොයලා බලන්න ඕනේ.

"කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මෙතැනදී මිය ගිහින් තියෙන්නේ එයාලා මේ කණ්ඩායම් දෙක අතර ඇතිවුණ ගැටුම පාලනය කරන්න මැදිහත් වුණ නිසයි. මොකද මේ ගැටුම කාර්ය මණ්ඩලයත් එක්ක නෙමෙයි ඇතිවෙලා තියෙන්නේ. මිය ගියපු කාර්ය මණ්ඩල නිලධාරීන්ට වෙඩි වැදිලා තියෙනවා. ඒක වුණේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ඔවුන්ගේ අතට ආයුධ ගියේ කොහොම ද කියන එක ගැන හොයන්න ඕන. රැඳවියන් ගැන විතරක් නෙමෙයි කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ගැනත් මට වගකීමක් තියෙනවා," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.