
රහසිගතව නිවසත් තුළ ඉතා සූක්ෂමලෙස නිධානයක් හාරමින් සිටි කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරක් මත අද (14) මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර නිවැසියා ඇතුළු තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් වන බව තඹුත්තේගම පොලීසිය පවසයි.
මෙය සිදුකිරීමට උපදෙස් දුන් සැකකාර ගුරා ගල්ගමුව ඇහැටුවැව පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද සඳහන් වෙයි.
අත්අඩංගුටගත් සැකකාර කාන්තාව හා පිරිමි පුද්ගලයා මෙම කටයුත්තට මුදල් වියදම් කර ඇති බවට ද පොලීසිය තොරතුරු සොයාගෙන තිබේ.
තඹුත්තේගම, බිලිබෑව ප්‍රදේශයේ කුඹුරු යායක් මධ්‍යයේ ඇති ඉඩමක නිවසක මුළුතැන්ගේ අඩි විස්සක් පමණ ගැඹුරු දෝනාවක් හරා එහි පස් තම නිවසේම රහසිගතව කාමරයක් තුළ සඟවා තිබී ඇති බව මූලික පරීක්ෂණවලින් සොයාගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී වතුර මෝටරයක්,වතුර බටයක්,වයර් රෝලක්, සවලක් පස් හෑරීමට ගන්නා උපකරණ සහ පස් ගොඩ දැමීමට යොදා ගන්නා උපකරණ අත්අඩංගුවට ගෙන තිබේ.
මූලික පරීක්ෂණවලින් අනතුරුව සැකකරුවන් තඹුත්තේගම ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම අපරාධ ඒකකය වැඩිදුර වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.