
ප්‍රංශයේ පැවැත්වෙන 'G7' සමුළුව අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික හමුවක් පවත්වා තිබේ.
එහිදී ට්‍රම්ප් ඉදිරියේදී ඉන්දියාවේ සංචාරය කිරීමට පොරොන්දු වී ඇති බව ද වාර්තා වේ.
මෙය මෑතකදී දෙරට අතර පැවති දැඩි රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාව ලිහිල් වීමේ සලකුණක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ මෙම කතාබහ පැමිණෙන්නේ, ඉරාන වරායන් වෙත පනවා ඇති නාවික අවහිරතා උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ඇමරිකානු හමුදාව ඕමාන් බොක්කේදී නෞකාවකට එල්ල කළ ප්‍රහාරයකින් පසුගිය සතියේදී ඉන්දීය නාවිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් සමඟයි.
මෙම සිදුවීමත් සමඟ ඉන්දියාව තුළ දැඩි දේශපාලන කතාබහක් ද නිර්මාණය වූ අතර, විපක්ෂය විසින් මෝදිව විවේචනයට ලක් කර තිබිණ.
ඒ අනුව මෝදි මෙම සාකච්ඡාවේදී හෝමුස් සමුද්‍ර සන්ධියේ සේවය කරන ඉන්දීය නාවිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුව ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ සෘජුවම මතු කළ බවත් සඳහන්.
එහිදී ආරක්ෂක සබඳතා පිළිබඳව මාධ්‍ය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවට කිසියම් පාර්ශවයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඇමරිකාවේ සහය ලැබෙන බවයි.
මේ අතර දෙරට අතර පවතින වෙළඳ ගිවිසුමේ අවසාන කටයුතු (Final touches) සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේදී නිලධාරීන් නවදිල්ලියේදී හමුවීමට නියමිත බවත් සඳහන්.
පසුගිය වසරේදී ට්‍රම්ප් විසින් ඉන්දීය භාණ්ඩ මත 50% දක්වා බදු පැනවූ අතර, පසුව එය 18% දක්වා අඩු කෙරිණි.
මේ වන විට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය එම බදු නීති විරෝධී බවට තීන්දු කිරීම නිසා බදු ප්‍රතිශතය 10% ක්ව පවතී. කෙසේ වෙතත්, බලහත්කාර ශ්‍රමය (Forced labour) මර්දනය කිරීමට ප්‍රමාණවත් පියවර නොගන්නා රටවලට පැනවීමට නියමිත නව බදු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.