
2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායමට අද (12 වැනිදා) හැකි වුණා.
ඒ, අර්ධ අවසන් පූර්ව වටයේදී ස්විට්සර්ලන්තය ගෝල 3-1 ක් ලෙස පරාජයට පත් කරමින්.
තරගයේ 10 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාව වෙනුවෙන් Alexis Mac Allister ගෝලයක් වාර්තා කරමින් ආරම්භයේදීම තරගයේ පාලනය සියතට ගැනීමට ආර්ජන්ටිනාවට අවස්ථාව ලබා දුන්නා.
පළමු අර්ධය නිමා වන තුරු ස්විට්සර්ලන්තයට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වූ නමුත්, ඔවුන් 67 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට සමත් වුණා. Dan Ndoye විසින් එම ගෝලය වාර්තා කරමින් ආර්ජන්ටිනාවේ ජයග්රහනය ප්රමාද කළා.
තරගයේ නියමිත මිනිත්තු 90 ක කාලය නිමා වන විට කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් ලබා සම තත්ත්වයේ පසු වූ බැවින් තරගයට අතිරේක කාලයක් ලබා දීමටයි පියවර ගැණුනේ.
එහිදී ක්රියාත්මක වූ ආර්ජන්ටිනා ක්රීඩක Julián Álvarez 112 වැනි මිනිත්තුවේදී ද, Lautaro Martínez 120'+1' වැනි මිනිත්තුවේදී ද ගෝල වාර්තා කරමින් ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටය සදහා රැගෙන යාමට සමත් වුණා.
තරගයේ 72 වැනි මිනිත්තුවේදී ස්විට්සර්ලන්ත ක්රීඩක Breel Embolo හට රතු කාඩ් පත ලබා දීම ද මෙම තරගයේ සිදු වූ සුවිශේෂී සිද්ධියක් බවට පත් වුණා.
මේ අතර, නෝර්වේ කණ්ඩායම සමග පැවැති තවත් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් නිමාව දුටුවේ එංගලන්තයට ගෝල 2-1 ක ජයක් උරුම කරමින්.
නෝර්වේ වෙනුවෙන් Andreas Schjelderup 36 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට සමත් වුණා.
කෙසේ වෙතත්, පළමු අර්ධය නිමා වීමට මොහොතකට පෙර (45'+2') එංගලන්තයේ Jude Bellingham ගෝලයක් වාර්තා කරමින් තරගය 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන යාමට සමත් වුණා.
දෙවැනි අර්ධයේදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකටම හැකි වූයේ නැහැ.
ඒ අනුව තරගය අතිරේක කාලයට රැගෙන යාමට සිදු වූ අතර, එහිදී 93 වැනි මිනිත්තුවේදී එංගලන්තය වෙනුවෙන් යළිත් ක්රියාත්මක වූ Jude Bellingham ජයග්රාහී ගෝලය සිය කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළා.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ප්රංශය හා ස්පාඤ්ඤය අතර එළඹෙන බදාදා මෙරට වේලාවෙන් අලුයම 12.30 ට ද, දෙවැනි අවසන් පූර්ව තරගය එළඹෙන බ්රහස්පතින්දා අලුයම 12.30 ට එංගලන්තය හා ආර්ජන්ටිනාව අතර ද පැවැත්වීමට නියමිතයි.