
'ඇප්ලාස්ටික් ඇනීලියා' (aplastic anemia) නමැති දුර්ලභ රුධිර රෝගී තත්ත්වයක් සමඟ සටන් කරමින් සිටි හිටපු ඇෆ්ගනිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෂපූර් සද්රාන් (Shapoor Zadran) වයස අවුරුදු 38ක්ව සිටියදී අභාවප්‍රාප්ත වූ බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය (ACB) අඟහරුවාදා තහවුරු කළේය.
මීට මාස කිහිපයකට පෙර මෙම දුර්ලභ රුධිර ආබාධය වැළඳී ඇති බවට හඳුනාගත් සද්රාන්, ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඇෆ්ගනිස්ථානයේ නැගී සිටීමට මූලික අඩිතාලම දැමූ පුරෝගාමී ක්‍රීඩකයෙකු වූ මෙම වමත් වේග පන්දු යවන්නා, එරට ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භක වකවානුවේදී ලෝක මට්ටමට පැමිණීම සඳහා ප්‍රබල භූමිකාවක් ඉටු කළේය.
නිවේදනයක් නිකුත් කරමින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය සද්රාන්ව හඳුන්වා දුන්නේ "ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ පදනම දැමූ ප්‍රමුඛතම චරිතයක්" ලෙස වන අතර, එරට ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය වෙනුවෙන් ඔහු දැක්වූ කැපවීම, ඇල්ම සහ දායකත්වය එහිදී බෙහෙවින් අගය කර තිබුණි.
"ඔහුගේ දායකත්වය සහ ජයග්‍රහණ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ඉතිහාසයේ සැමදා වැදගත් කොටසක් ලෙස පවතිනු ඇති අතර, ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔහු කළ සේවය කිසිදා අමතක නොවේ," යැයි ක්‍රිකට් මණ්ඩලය ප්‍රකාශ කළේය.
සද්රාන් එක්දින ජාත්‍යන්තර තරඟ 44කට ක්‍රීඩා කරමින් කඩුලු 43ක් ද, විස්සයි20 ජාත්‍යන්තර තරඟ 36කට ක්‍රීඩා කරමින් කඩුලු 37ක් ද ලබාගෙන ඇත. ඔහු 2009 සහ 2020 අතර කාලය තුළ ඇෆ්ගනිස්ථානය නියෝජනය කළ අතර, ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරඟයට ක්‍රීඩා කළේ 2019 වසරේදීය.
ක්‍රීඩා පිටියේ ඔහුගේ දක්ෂතාවලින් ඔබ්බට යමින්, සද්රාන් ක්‍රීඩාව කෙරෙහි දැක්වූ අධිෂ්ඨානය සහ ඇල්ම තුළින් ඇෆ්ගන් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් පරපුරකටම විශාල ආදර්ශයක් සැපයූ බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.
ඔහුගේ අභාවය වෙනුවෙන් ක්‍රිකට් මණ්ඩලය ඔහුගේ පවුලේ අයට, මිතුරන්ට, හිටපු කණ්ඩායම් සගයන්ට සහ සමස්ත ක්‍රිකට් ප්‍රජාවටම සිය ශෝකය ප්‍රකාශ කර සිටි අතර, ඔහුගේ උරුමය ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ඉතිහාසය තුළ සදාකාලිකව පවතිනු ඇතැයි ද සඳහන් කළේය.