
පසුගිය සෙනසුරාදා (මැයි 30) රාත්‍රියේ චෙන්නායි, කොයියම්බේඩු (Chennai’s Koyambedu) ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක පිහිටි මත්පැන්හලක් තුළ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් 'යැන්සි' (Yancy) නැමැති 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඝාතනය සිදුව ඇත්තේ, ගැටුමට සම්බන්ධ අනෙක් පාර්ශ්වය විසින් ඇයව අනතුරකට ලක්කිරීමෙන් බවයි වාර්තා වන්නේ.
ඇය සමඟ යතුරුපැදියේ ගමන් ගනිමින් සිටි 17 හැවිරිදි ඇගේ මිතුරිය ද බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
රාත්‍රී 11:00 ට පමණ මත්පැන්හල තුළ නර්තනයක යෙදීම සම්බන්ධයෙන් මෙම කණ්ඩායම් දෙක අතර ගැටුමක් හටගෙන ඇති අතර, හෝටලයේ ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී ඔවුන්ව පිටතට ඇද දමා ඇත.
පසුව 'යැන්සි' සහ ඇගේ මිතුරන් යතුරුපැදි දෙකකින් පිටව ගොස් ඇති අතර, අනෙක් කණ්ඩායම මෝටර් රථයකින් ඔවුන් ලුහුබැඳ තිබේ.
ලුහුබැඳීමේදී යැන්සිගේ පාර්ශවයෙන් මෝටර් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ඊට කුපිත වූ මෝටර් රථයේ සිටි පිරිස යැන්සි ගමන් කළ යතුරුපැදිය හිතාමතාම හප්පා පලාගොස් ඇති බව සඳහන්.
'CCTV' දර්ශන පදනම් කරගනිමින් පොලිසිය විසින් පුද්ගලයන් සිව්දෙනෙකු රඳවා තබාගෙන ප්‍රශ්න කර ඇති අතර, ඉන් තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් බාලගුරු (21), ජෝෂුවා (19) සහ කිෂෝර් කුමාර් (19) නම් විද්‍යාලීය සිසුන් බවට හඳුනාගෙන ඇත. ඝාතනය සඳහා යොදාගත් මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
අනතුර සිදුකළ මෝටර් රථයේ 'DMK පක්ෂයේ කොඩියක්' ප්‍රදර්ශනය කර තිබූ බව CCTV දර්ශනවලින් හෙළි වී ඇතත්, අත්අඩංගුවට ගත් සිසුන් සහ එම දේශපාලන පක්ෂය අතර සෘජු සබඳතාවක් මෙතෙක් අනාවරණය වී නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, විලුපුරම් හි පිහිටි ශ්‍රී ලාංකික දමිළ පුනරුත්ථාපන කඳවුරක (Rehabilitation camp) පදිංචිකාරියක වූ යැන්සි නම් තරුණියකි.
ඇය සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා සූදානම් වෙමින් සිටි තැනැත්තියක බව සඳහන්. ඇය සිය මිතුරන් හමුවීම සඳහා මැයි 19 වනදා චෙන්නායි වෙත පැමිණ ඇත.
යැන්සිගේ මව වන මේරි ස්ටෙලාට (Mary Stella) අනුව, ඇගේ දියණියට විලාසිතා නිර්මාණකරණය (Fashion designing) හදාරා විදේශගත වීමේ සිහිනයක් තිබී ඇත.
සෙනසුරාදා (මැයි 30) රාත්‍රී 7:50 ට පමණ දියණිය තමන් අමතා උදෑසන නැවත කතා කරන බව පැවසූ බවත්, පැය කිහිපයකට පසු ඇය මියගිය බවට පොලිසියෙන් ඇමතුමක් ලැබුණු බවත් පවසන ඇය, තම දියණිය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා සිටියි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් මිනීමැරුම් නඩුවක් ලියාපදිංචි කර ඇති අතර, සිද්ධිය වූ හෝටල් මත්පැන්හලට ද සීල් තබා ඇත.
අතුරුදන්ව සිටින අනෙක් සැකකරුවන් සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබේ.