
ප්‍රවීණ දමිළ සිනමා අධ්‍යක්ෂවරයෙකු, නළුවෙකු සහ තිරකතා රචකයෙකු වන කේ. භාග්‍යරාජ් (K. Bhagyaraj) හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායි හිදී අද (ජුනි 27) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 73 කි.
ඔහුගේ බිරිඳ ප්‍රකට නිළි පූර්ණිමා භාග්‍යරාජ් (Poornima Bhagyaraj) වන අතර ඔවුනට ශාන්තනු භාග්‍යරාජ් (Shanthanu Bhagyaraj) සහ සරන්යා භාග්‍යරාජ් (Saranya Bhagyaraj) මැයෙන් දරුවන් දෙදෙනෙකි.
මෑතක් වනතුරුම ක්‍රියාකාරී ජීවිතයක් ගත කළ කේ. භාග්‍යරාජ්, මියයෑමට දින කිහිපයකට පෙර ගෝවා හි පැවැත්වුණු ප්‍රකට නිළි සහ දේශපාලනඥ කුෂ්බු සුන්දර්ගේ දියණියගේ විවාහ උත්සවයට ද සහභාගී වී තිබුණි.
තමිල්නාඩුවේ උපත ලැබූ කේ. භාග්‍යරාජ්, සිය සිනමා ජීවිතය ආරම්භ කළේ ප්‍රකට සිනමාකරු භාරතීරාජාගේ (Bharathiraja) සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙසය.
පසුව ඔහු 1980 සහ 1990 දශකවල දෙමළ සිනමාවේ වඩාත්ම බලපෑම් සහගත තිරකතා රචකයෙකු, අධ්‍යක්ෂවරයෙකු බවට පත්විය.
ඔහුගේ දීර්ඝ සිනමා ජීවිතය තුළ චිත්‍රපට 25 කට වඩා අධ්‍යක්ෂණය කර ඇති අතර චිත්‍රපට 75 කට අධික ප්‍රමාණයක රංගනයෙන් දායක වී තිබේ.
Mundhanai Mudichu, Andha 7 Naatkal, Chinna Veedu, Sundara Kandam, Enga Chinna Rasa සහ Darling Darling Darling ඔහුගේ සිනමා නිර්මාණ අතරින් කිහිපයකි.
දෙමළ සිනමාවට ඌර්වශී (Urvashi) සහ කල්පනා (Kalpana) වැනි දක්ෂ නිළියන් හඳුන්වා දීමට මුල් වූයේ ද ඔහුය. තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය සහ සුපිරි නළු එම්.ජී. රාමචන්ද්‍රන් (MGR) විසින් භාග්යරාජ්ව තමන්ගේ "සිනමා උරුමක්කාරයා" ලෙස ද හඳුන්වා දී තිබේ.
ඔහු 1986 වසරේදී අමිතාබ් බච්චන් ද්විත්ව චරිත නිරූපණය කළ, ශ්‍රීදේවි සහ අනුපම් කේර් රංගනයෙන් දායක වූ 'Aakhree Raasta' චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාව තුළ ද විශාල සාර්ථකත්වයක් සහ ඇගයීමක් ලැබීය.