
දකුණු ඉන්දීය සිනමාවේ සහ සංගීත ලෝකයේ ප්රාතිහාර්යයක් බඳු වූ, "දකුණු ඉන්දියාවේ කෝකිලාවිය" (Nightingale of South India) ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ පසුබිම් ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 88 වන වියේ පසු වුණා.
වයස්ගත වීම නිසා ඇති වූ සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් මයිසූර් හි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අද (ජූලි 11) සන්ධ්‍යාවේ මෙලොවින් සමුගත් බවයි ඇයගේ පවුලේ ආරංචි මාර්ග තහවුරු කරන්නේ.
දශක හයකට අධික ඇයගේ අසිරිමත් සංගීත ජීවිතය තුළ භාෂා 20කට අධික සංඛ්‍යාවකින් ගීත 48,000කට ආසන්න ප්‍රමාණයක් ගායනා කර ඇති ජානකී මහත්මිය, ශ්‍රී ලාංකීය රසිකයන්ගේද හදවත් දිනාගත් සුවිශේෂී කලාකාරිනියක්.
විශේෂයෙන්ම, 1959 වසරේ තිරගත වූ "සිහිනය" සිංහල චිත්‍රපටය වෙනුවෙන් ඇය ප්‍රවීණ ගායන ශිල්පී මොහිදීන් බෙග් මහතා සමඟ ගායනා කළ "මල් පීදී ප්‍රේම වෘක්ෂයේ" (Mal Peedi Prema Wrukshaye) ගීතය අදටත් ලාංකීය රසිකයන් අතර අතිශය ජනප්‍රිය සදාතනික මතකයක්. මීට අමතරව ඇය "අහිංසක ප්‍රයෝගය" චිත්‍රපටය සඳහා "හඳිණි සුරබුන්ගේ" (Handinee Surabunge) නම් සිංහල ගීතයටද තම සුගායනීය හඬ දායකත්වය ලබා දී තිබෙනවා.
ඉන්දීය ජාතික සිනමා සම්මාන 4කින් සහ විවිධ ප්‍රාන්ත සම්මාන 33කට අධික සංඛ්‍යාවකින් පිදුම් ලැබූ ජානකී මහත්මියගේ අභාවය සමස්ත ආසියානු සංගීත ක්ෂේත්රයටම පියවිය නොහැකි විශාල පාඩුවක්.