
ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක බලකාය ( Islamic Revolutionary Guard Corps - IRGC) සංවිධානය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සංවිධානයක් ලෙස නිල වශයෙන් නම් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු ලේකම් ෂබානා මහ්මුද් (Shabana Mahmood) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රකාශයකින් සඳහන් කළේ, නව නීති බලතල යටතේ IRGC සංවිධානයට සහාය දැක්වීම, එය ප්‍රසිද්ධියේ ප්‍රශංසා කිරීම, හෝ එහි ක්‍රියාකාරකම් සඳහා උදව් කිරීම ද බරපතළ අපරාධයක් වන අතර, ඒ සඳහා උපරිම වශයෙන් වසර 14ක සිර දඬුවමක් නියම කළ හැකි බවයි. මෙම නීතිය යටතේ තවත් සංවිධාන දෙකක් ද තහනම් කොට ඇති අතර එලෙස තහනමට ලක් කළ සංවිධාන වන්නේ Islamic Movement of Companions of the Right (IMCR) සහ රුසියාවේ හමුදා බුද්ධි අංශය වන GRU සමඟ සම්බන්ධ ස්වේච්ඡා කණ්ඩායමකි. නව නීති මඟින් බ්‍රිතාන්‍ය පොලීසියට සහ බුද්ධි අංශවලට විදේශීය ඔත්තු සේවා, රාජ්‍ය මැදිහත්වීම්, කඩාකප්පල්කාරී ක්‍රියා සහ ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා වැඩි බලතල හිමි වනු ඇත. බ්‍රිතාන්‍ය බලධාරීන් පවසන්නේ, IRGC සංවිධානය බ්‍රිතාන්‍යයේ යුදෙව් සහ ඊශ්‍රායල ප්‍රජාව ඉලක්ක කරගත් ප්‍රහාර කිහිපයක් මෙහෙයවා ඇති බවයි. ඒ අතර 2025 මාර්තු 23 වනදා ලන්ඩනයේ ගෝල්ඩර්ස් ග්‍රීන් (Golders Green) ප්‍රදේශයේ යුදෙව් හදිසි වෛද්‍ය සේවාවකට අයත් ගිලන් රථ හතරකට ගිනි තැබූ ප්‍රහාරය ද ඇතුළත් වන අතර, එම ප්‍රහාරයේ වගකීම IMCR සංවිධානය භාරගෙන තිබුණා. අග්‍රාමාත්‍ය සර් කීර් ස්ටාර්මර් (Sir Keir Starmer) ප්‍රකාශ කළේ, විදේශීය රාජ්‍යයන්ට බ්‍රිතාන්‍යය තුළ බිය, බෙදීම සහ ප්රචණ්ඩත්වය පතුරුවා හැරීමට කිසිදු ඉඩක් නොදෙන බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ..... “ඉරාන පාලනයට සහ එයට සම්බන්ධ පුද්ගලයන්ට මෙන්ම රුසියානු මෙහෙයුම් ජාලවලට එරෙහිව අප දැනටමත් දැඩි පියවර ගෙන තිබෙනවා... නව නීති මඟින් ඔවුන් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ක්‍රියා කරන පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ සිරගත කිරීම තවත් පහසු වේ.” මෙම නීති පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුවහොත්, විදේශීය රාජ්‍යයක් වෙනුවෙන් ගිනි තැබීම, කඩාකප්පල්කාරී ක්‍රියා හෝ වෙනත් විනාශකාරී ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට ජීවිතාන්ත සිර දඬුවම් ද නියම කළ හැකි වනු ඇත. නව නීති අනුව, මෙවැනි අපරාධ සම්බන්ධ නඩු පැවරීමේදී විදේශීය රාජ්‍යයන් සමඟ සෘජු සම්බන්ධතාවයක් සෑම අවස්ථාවකම වෙන වෙනම ඔප්පු කිරීමට අවශ්‍ය නොවන බැවින්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වඩාත් පහසු වනු ඇත. අභ්‍යන්තර කටයුතු ලේකම් ෂබානා මහ්මුද් පැවසුවේ..... “ඉරානය සහ රුසියාව තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය තුළ ප්‍රොක්සි කණ්ඩායම් සහ අපරාධකරුවන් භාවිතා කරනවා... ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන අය හඳුනාගෙන නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා අප මෙම සංවිධාන තුනම ඉක්මනින් තහනම් කළා.” එසේම, MI-5 බ්‍රිතාන්‍ය බුද්ධි අංශය අනාවරණය කර ඇත්තේ පසුගිය වසර තුළ ඉරානයේ සහාය ලැබූ, බ්‍රිතාන්‍යයේ පුද්ගලයන් ඉලක්ක කරගත් මාරාන්තික ප්‍රහාර සැලසුම් 20 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි. එම ක්‍රියාකාරකම්වල මධ්‍යස්ථානය ලෙස IRGC සංවිධානය ක්‍රියා කරන බවත්, විශේෂයෙන් යුදෙව් ප්‍රජාව සහ ඉරාන විරෝධීන් ඉලක්ක කර ඇති බවත් බ්‍රිතාන්‍ය රජය සඳහන් කරනවා.