
දකුණු චීන මුහුද හා සම්බන්ධ ගැටලුව පිළිබඳ විනිශ්චයන් ලබා දීමට ජපානයට කිසිදු අයිතියක් නොමැති බව චීනය දැඩිව අවධාරණය කරයි.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තු නිලධාරියෙකු චීනයේ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ ප්‍රධාන අමාත්‍යවරයා කැඳවා කළ අදහස් දැක්වීමකදී මේ බව සඳහන් කර ඇත.
දකුණු චීන මුහුද හා සම්බන්ධ ගැටලුව පිළිබඳව ජපානයට ඓතිහාසික වගකීම් ඇතත්, ඔවුන් ඒ පිළිබඳ කිසිදු තැකීමක් කර නොමැති බැවින්, ඒ පිළිබඳ විනිශ්චයන් දීමට ජපානයට කිසිදු අයිතියක් නොමැති බව චීන පාර්ශ්වය එහිදී පෙන්වා දී තිබේ.
මෙම පියවර ගෙන ඇත්තේ, ඊනියා "දකුණු චීන මුහුදු බේරුම්කරණ තීන්දුව" නිකුත් කර වසර 10 කට පසු නැවතත් එය හුවා දැක්වීම සඳහා ජපාන විදේශ අමාත්‍ය තොෂිමිට්සු මොටෙගි (Toshimitsu Motegi) පියවර ගැනීම සහ ජපානය වෙනත් රටවල් සමඟ එක්ව ඒ පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.
මේ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය සහ විරෝධය පළ කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුව අදාළ ජපාන නිලධාරියා වෙත බරපතල ලෙස කරුණු දැක්වීමක් කර ඇත.
එහිදී චීනය දැඩිව අවධාරණය කර ඇත්තේ ජපානයේ මෙවැනි අශෝභන ප්‍රකාශ සහ ක්‍රියාවන් පශ්චාත් යුද ජාත්‍යන්තර ක්‍රියාපටිපාටියට සහ ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යයට ද අභියෝගයක් බවයි.
එමෙන්ම ජපානයේ මෙම දෙබිඩි පිළිවෙත, දකුණු චීන මුහුදු කලාපයේ සාමය සහ ස්ථාවරත්වය අඩාල කරමින් කලාපීය රටවල පොදු අවශ්‍යතා සහ අභිලාෂයන්ට පටහැනිව ක්‍රියා කරන බව චීනය පවසයි.
ජපානයේ මෙම හැසිරීම, ඔවුන් අතීතයේ සිදු කළ ආක්‍රමණශීලී සහ යටත් විජිත ම්ලේච්ඡ ක්‍රියා සම්බන්ධයෙන් වන ඓතිහාසික සිහි කැඳවීමක් බවත්, එය චීනය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව තුළ යළි තැතිගැන්මක් මෙන්ම දැඩි කෝපයක් ද ඇති කරන බවත් චීනය පෙන්වා දෙයි.
එබැවින් ජපානයේ මෙම ප්‍රකෝප කිරීම් වෙත චීනය අධිෂ්ඨානශීලීව සහ බලගතුව මුහුණ දෙමින්, සිය භෞමික ස්වෛරීභාවය මෙන්ම සමුද්‍රීය අයිතිවාසිකම් සහ අවශ්‍යතා ස්ථිරව ආරක්ෂා කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර ඇත.
තවද, තායිවාන ගැටලුව, ජපානය විසින් අතහැර දමා ඇති රසායනික අවි සහ චීනයේ වාර්ගික ප්‍රතිපත්ති යනාදිය සම්බන්ධයෙන් ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කර තිබෙන පදනම් විරහිත ප්‍රකාශ සහ එරට හමුදාව හා ආරක්ෂාව සම්බන්ධයෙන් වන ඍණාත්මක ප්රවණතා මාලාවක් පිළිබඳව ද චීනය මෙහිදී දැඩි විරෝධය පළ කර තිබේ.